සිවුරු පිළිබඳ දතයුතු කරුණු
තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ගේ පරිභෝගය පිණිස සිවුරු නවයක් අනුදැන වදාරා තිබේ. එයින් සංඝාටි උත්තරාසංග, අන්තරවාසක යන තුන ප්‍රධාන ය. අන්තරවාසක යනු අඳනය ය. උත්තරාසංග යනු උඩුකය වසනු පිණිස පොරෝනා සිවුර ය. සංඝාටි යනු විහාරයෙන් පිටත යන කල්හි ශරීරය හොඳින් වසාගනු පිණිස පාවිච්චි කරන සිවුර ය. දැනට අඳනය - තනි පට සිවුර - දෙපර සිවුරය” යි ව්‍යවහාර කරන්නේ මේ තුනට ය.
සිවුරුවල ප්‍රමාණ:
සියලු ම සිවුරු බුදුන් වහන්සේගේ සිවුරට කුඩා විය යුතු ය. උන්වහන්සේගේ සිවුරු දිගින්, සුගත් වියතින් නව වියතක් හා පුළුලින් සවියතක් ද වන්නේ ය. සුගත් වියත වඩුරියනෙන් එක්රියන් හමාරෙකි. බුදුන් වහන්සේ ගේ සිවුරෙහි දිග වඩු රියනින් දහතුන් රියන් හමාරක් වන්නේ ය. සුගත චීවරය පමණට දිග පුළුල ඇති සිවුරක් දැනට ඉන්නා අයට වුවමනා නැත. එහෙත් ඉතා කුඩා වුව හොත් පරිමණ්ඩල සුපටිච්ඡන්න සික පද රැකෙන සේ හැඳීම පෙරවීම කරන්නට අපහසු ය. ඉතා මහත් වීමෙන් ද ඒ දෝෂය වේ. එ බැවින් තම තමන්ගේ ශරීර ප්‍රමාණ අනුව සිවුරු පිළියෙළ කර ගත යුතු ය. දිගින් පස් රියනක් වූ ද, පුළුලින් දෙරියනක් හෝ දෙරියන් හමාරක් වූ ද අඳනය සුදුසු ය. තනි පොර දෙ පොට සිවුරු දිගින් පස්රියන් හමාරක් ද, පුළුලින් සතර රියන් හමාරක් ද වීම සුදුසු ය. පස්කඩ සත්කඩ ආදි වශයෙන් සිවුරු කඩ කපා මසා ගත යුතු ය. තුන් සිවුර ම කඩ කපා මසා ගැනීමට රෙදි මඳ වේ නම් එකක් හෝ දෙකක් කඩ නොකපා මසා ගැනීම ද සුදුසු ය. කඩ නොකැපූ සිවුරම නො දැරිය යුතු ය. අලුත් රෙදිවලින් සිවුරු කරන කල්හි අඳනය උත්තරාසංගය යන දෙක තනි පොටට ද සංඝාටිය දෙපොටක් කොට ද කළ යුතුය. රෙදි පරණ නම් අඳනය උත්තරාසංගය දෙපොට කොට ද සංඝාටිය සතරපොට කොට ද, පංසුකූල රෙදිවලින් සිවුරු මසත හොත් කැමති පරිදි ද මසා ගැනීමට අනු දැන වදාරා ඇත්තේ ය. සිවුරු මැසීමේ දී අලංකාරය පිණිස කිසි මැස්මක් නො කළ යුතු ය. ගණ්ඨිවලට යොදන රෙදි කැබලි සිවුරැස් කොට ම ගත යුතු ය. අලංකාරය පිණිස සිවුරුවල දහවලු නො තැබිය යුතු ය.
අංසකඩය බොහෝ පැවිද්දන් පරිභෝග කරන පරිෂ්කාරයෙකි. “න කඤ්චුකං ධාරෙතබ්බං” යි වදාරා ඇති බැවින් අංසකඩය පොරෝනා පරිෂ්කාරයක් ලෙස මිස කඤ්චුකයක් ලෙස නො මැසිය යුතු ය. කඤ්චුකය යි කියනුයේ බැනියම් කමිස ආදී ඇඟ ලන වස්තූනට ය. එ බන්දක් නොවන සේ අංසකඩය පිළියෙළ කර ගත යුතු ය.
සිවුරු රෙදි:
“අනුජානාමි භික්ඛවෙ, ඡ චීවරානි ඛොමං කප්පාසිකං කොසෙය්‍යං කම්බලං සාණං භංගං” යි සිවුරුවලට රෙදි වර්ග සයක් අනුදැන වදාරා තිබේ. ඛෝම යනු ඒ නම ඇති ගස් වර්ගයක කෙඳිවලින් වියන රෙදි ය.කප්පාසික යනු කපු නූලෙන් වියන රෙදි ය.කෝසෙය්‍ය යනු පට රෙදි ය. කම්බල යනු ලොමින් වියන රෙදි ය. සාණ යනු ඝණ කෙඳිවලින් වියන රෙදි ය. භඞ්ග යනු මිශ්‍ර නූලෙන් වියන රෙදි ය. මේ රෙදි වර්ග සය හා ඒවාට සමාන වෙනත් රෙදි වර්ග ද සිවුරුවලට සුදුසු ය. හිසකේ, පියාපත්, ගස්වල සුඹුලු, සම් ආදියෙන් සිවුරු නො කළ යුතු ය.
සිවුරේ පැහැය
“න භික්ඛවෙ, සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමඤ්ජිට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහාරංගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි.
(මහාවග්ග චීවරක්ඛන්ධක)
මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් සම්පූර්ණයෙන් නිල් පැහැය ඇත්තා වූ ද, කහ පැහැය ඇත්තා වූ ද, රතුපැහැය ඇත්තා වූ ද, මදටිය පැහැය ඇත්තා වූ ද, කළු පැහැය ඇත්තා වූ ද, පත්තෑයන් ගේ පිටේ පැහැය ඇත්තා වූ ද, ඉදුණු කොළවල පැහැය ඇත්තා වූ ද, සිවුර නො දැරිය යුතු ය. අකැප පැහැයවල් ඇති සිවුරු ලදහොත් සෝදා ඒ පැහැයවල් වෙන් කොට නියම පැහැය ඇති පඬුපොවා ගත යුතු ය. පාට ඉවත් කළ නොහැකි නම් ඇතිරිලි ආදිය සඳහා යෙදිය යුතු ය. තථාගතයන් වහන්සේ විසින් සම්පූර්ණ නිල් කහ ආදි වර්ණයන් ප්‍රතික්ෂේප කර තිබීමෙන් පෙනෙන්නේ සිවුරේ පැහැය මිශ්‍ර වර්ණයක් විය යුතු බව ය. නුග පොතු තම්බා පෙවූ කල්හි ඇති වන පැහැය සිවුරේ නියම පැහැය විය යුතු ය. එය කළු රතු කහ යන පාට තුන මිශ්‍ර වී ඇති කසට පැහැය ය.
ලෝකයෙහි ඇති නොයෙක් වර්ණයන් අතුරෙන් මේ කසට පැහැය ම සිවුරට ගෙන ඇත්තේ එහි අනුසස් සලකා ගෙන ය. සුදුපැහැය ඇති සිවුරු පරිභෝග කරතහොත් එය ඉතා ඉක්මනින් කිලිටි වන බැවින් නිතර සෝදන්නට වීමේ පළිබෝධය හා අලුත් වස්ත්‍ර සොයන්නට වීමේ පළිබෝධය ඇති වන්නේ ය. ඒ පළිබෝධය නැති බව මේ කසට පැහැයෙහි එක් අනුසයෙකි. වරක් පෙවූ කල්හි බොහෝ කල් පවත්නා වූ මේ පැහැයෙහි නිතර පඬු පෙවීමේ පළිබෝධය නැති බව එක් අනුසසෙකි. සිවුර ලස්සනය කියා තණ්හාමානාදි කෙලෙස් නූපදනා බව එක් අනුසසෙකි. දුරට නො පෙනෙන බැවින් අන්තරාය අඩු බව එක් අනුසසෙකි. මෙය මදුරුවන්ට අප්‍රිය වර්ණයෙකි. එබැවින් සිවුරට මදුරුවන් පැමිණෙනවා අඩු ය. එය කසට පැහැයේ එක් අනුසසෙකි. මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් මේ කසට පැහැය පැවිද්දන්ට ඉතා යෝග්‍ය පැහැය වන්නේ ය.
පඬු වර්ග
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී භික්ෂූහු ගොම හා රතු මැටි දියකර සිවුරුවලට පෙවූ හ. සිවුරු දුර්වර්ණ විය. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි“අනුජානාමි භික්ඛවෙ, ඡ රජනානි මූලරජනං ඛන්ධරජනං තචරජනං පත්තරජනං පුප්ඵරජනං ඵලරජනං” යි මුල් ය - කඳ ය - පොතු ය - කොළ ය - මල් ය - ගෙඩි ය යන මේ සය වර්ගය පඬු පිණිස ගැනීමට අනුදැන වදාළ සේක. මෙසේ පඬු ජාති සයක් අනුදැන වදාළ මුත් නො ගත යුතුය කියා කිසිවක් ප්‍රතික්ෂේප නොකළ සේක. එ බැවින් සුදුසු පැහැය ඇති තවත් ජාති ද ඒවාට අනුලෝම වශයෙන් ගැනීම සුදුසු විය යුතුය. මුල් ආදියෙහි ද යෝග්‍ය වර්ණයක් නැති ඒවා නොගත යුතු ය. එබැවින් “හලිද්දිං ඨපෙත්වා සබ්බං මූලරජනං වට්ටති” යි කහ හැර සියලු මුල් සුදුසු බවත් “මඤ්ජිට්ඨකංච තුංගහාරකඤ්ච ඨපෙත්වා සබ්බං ඛන්ධරජනං වට්ටති” පතඟි හා ටිඟොල් නමැති ගස් වර්ගත් නුසුදුසු බවත් “ලොද්දංච කණ්ඩුලංච ඨපෙත්වා සබ්බං තචරජනං වට්ටති” යි ලොත් හා කඩොල් පොතු හැර සියලු පොතු සුදුසු බව ද “අල්ලි පත්තඤ්ච නිල්ලිපත්තඤ්ච ඨපෙත්වා සබ්බං පත්තරජනං වට්ටති” යි සිහින් කසාපත් හා බෙරුපත් හැර ඉතිරි සියල්ල සුදුසු බව ද, කිංසුකපුප්ඵඤ්ච කුසුම්භපුප්ඵඤ්ච ඨපෙත්වා සබ්බං පුප්ඵරජනං වට්ඨති” යි වණුක් මල් හා කෑලමල් හැර සියලු මල් සුදුසු බව ද, ගෙඩි ජාති සියල්ලම සුදුසු බව ද විනය අටුවාවෙහි දක්වා තිබේ. සුවඳ ද්‍රව්‍ය කැඳ ආදිය පඬුවලට මිශ්‍ර නො කළ යුතු ය.
නූතනයේ මෙය කෙතරම් දුරට පවතිනවාද..කාලයට අනුරූපව වෙනස්කම් ඇති වී තිබේ ද..පහදන්න
ReplyDeleteවර්තමානය තුල වාණිජමය අරමුණු සහ කාලීන වශයෙන් බොහෝ වෙනස්කම් සිදුවී ඇත..විශේෂයෙන් අදවන විට රෙදිඋපයෝගීකරගෙන මසා නිමකල චීවර වෙළදපල තුල පවති...එය විනයානුකූලද යන්න අප තුලද නැගෙනා ගැටලුවකි..නමුත් කාලීනව සමාජය දියුණුවට පත්වීම නිසා එසේ යම් පරිහානියකට පත්වී ඇති බවද පැවසිය හැක.නමුත් එදා පැවති චීවර ආකෘතියට කිසිදු වෙනසක් කොට නොමැත...එසේම පැරණි සම්ප්‍රධායට අනුව චීවර සම්පාදනය කරන ආරණ්‍ය විහාර නැතුවාම නොව..ප්‍රශ්නය ඇත්තේ කාලීනව පවතින යම් යම් සංකූලතා වේ...නමුත් වසර දහස් ගනනාවක් නොවෙනස්වී පවතින එකම උතුම් වස්ත්‍රය ලෙස පූජනීය චීවරය පෙන්වා දිය හැකිය.. ධර්මාවබෝදයම වේවා ඔබ තුමාට...තෙරුවන් සරණයි
ReplyDeleteNiymai
ReplyDeleteNice.
ReplyDeleteතෙරුවන් සරණයි 🙏 දහස්කඩ සිවුර පිලිබඳ පැහැදිලි කිරීමක් කරන්ඩ පුලුවන්ද බොහොම පින්
ReplyDelete