Saturday, August 31, 2019

රාමසරය(කෙටි කතාව)

        දැල්වෙමින් තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර තුනකට පෙර අම්මාත්,තාත්තාත්,මමත්,මල්ලීත් සිත්සේ ජීවත් වූ සාමසර  කඳු වැටිය තාමත් මට පෙනෙන්කු රකුසෙකු පරිද්දෙනි..අම්මාත්,මල්ලීත් පස් අතර වැළලී මිය ගිය සැටි මගේ මතකයට නැගෙන සෑම මොහොතකම මගේ හදවත නිහඩවම සුසුම් ලන බව මම දනිමි.
           
             තාත්තාත්,මමත් යාන්තමින් දිවි ගලවා ගත්තද තාත්තා ජීවිතාන්තය දක්වාම ඔත්පල විය.ලෙඩ ඇදේ දුක් විදින තාත්තා රේඩියෝව ළඟ තබාගෙන දවස පුරා බණ අසයි.නිහඬ බව බිඳෙමින් ඇහෙනා රැහැයියන්ගේ හඬ මලානික බවක් නැගුවද,තාත්තාගේ රේඩියෝවෙන් යන්තමට ඇසෙන පිරිත් හඬ මොහොතකට හදවත් සුවපත් කරයි.
        පුතේ,
තාත්තා මට අමතන හඬ ඈසේ.මම වහා ඔහු සිටින කාමරයට දිව ගියෙමි.
"බැටරිය ඉවර වුණා මයෙ හිතේ"
 රේඩියෝව දෙස බලමින් තාත්තා පැවසුවේය.

 "හෙට ගේමු"
මා සැබැවින්ම එසේ පැවසූවේ තාත්තාගේ හිත සැනසීමටය.
 "අද ආණ්ඩු පක්ෂෙ ඇමති කෙනෙක් කිව්වලු නායගිය පවුල් හැම එකකටම ගෙයක් හදලා දෙනවා කියලා"
 "ඕවා කියන්න නම් පුලුවන් කොරන්නනෙ බැරි ඡන්දෙ ළඟ නිසා වෙන්න ඇති..අනේ පුතේ මට කහට ඩිංගක් හදපන්කො"
 විගස කුස්සි කෑල්ලට දිවගිය මම අලුත් දර කැබැලි කිහිපයක් ගෙන ලිපට ළං කර පිඹින්නට වූයෙමි කෙසේ හෝ ලිප අවුලුවා ගත් මම නැවතත් තාත්තාගේ ඇඳ ළඟට ගොස් එහි වූ රෙදි පෙට්ටිය මත වාඩි වුණෙමි.
"එකෙක් බලයට එනවට එකෙක් කැමති නෑ මං හිතන් නෑ ඔය ගෙවල් හැදිල්ලත් වෙයි කියලා"තාත්තා සුසුමක් හෙළීය
"මේ මහා කන්දක් නාය ගියෙත් ඔය එක එකාගෙ බල ලෝභය නිසා තමයි"
තාත්තා කියූ දෙයින් මම වික්ෂිප්ත වූයෙමි.
"මොකක්ද තාත්තා ඒ හතර බීරි කතාව?"
මම විමසුවෙමි.
"රාම රාවණ යුද්ධයෙදි රාවණ පරද්දන්න රාමා එවපු හීයක් ඔය කඳු වැටියේ වැදිලා තියෙනවලු.ඔය කියන කාලෙට කලින්  මේ කඳු වැටිය බොහොම විශාලෙට තිබිලා තියෙනවලු.රාමා එවපු හීය වැදිලලු මේ කන්ද ඔය අද තියෙන විදිහට හැදිලා තියෙන්නේ.රාමගේ හී සරය වැදුණු නිසාවෙන් තමයි රාමසර,සාමසර වෙලා තියන්නෙ."
"එතකොට මේ කන්ද නායගිය එකට වගකියන්න ඕන රාමාද ?"
මා සිනාසුනේ සමච්චලයට මෙනි..
"රාවණා බලයට එන්න මාන බලන සෑම මොහොතකම රාමා මේ කඳු වැටියට හී පහරක් විදිනවලු රාවණාගේ බලය බිඳෙන්න.ඒ සාපෙ තමයි කලින් කලට අපට මේ පල දෙන්නෙ.අපේ ගම්මු මේ කතන්දර කීවේ කට කහනවට නෙවෙයි"
තාත්තා එක දිගටම කියාගෙන ගියේය
"ඕව ඉතිං ගොතපු කතානෙ"
මා සිනාසෙමින් කුස්සියට දිව ගියේ කහට කෝප්පයක් වත් කරගෙන එන්නටය.
කවුදෝ පිරිසකගේ කසු කුසුවක් ඈසේ.එකෙකු දෙකෙකු නොව පිරිසක් විය යුතුය.අඳුරේදීම මා ඔවුන් හඳුනාගත්තෙමි.
"ආ වැඩකර කරද හිටියෙ?මේ පාර ඉතිං විකල්ප නෑ.අපේ පක්ෂෙ දිනවන්න ඕනා.ඔයාලගෙ තාත්තව ඡන්ද පොළට එක්කරගෙන යන්න වාහනයක් අපි එවන්නම්.අනිත් පැත්තට ඡන්දෙ දීලානම් මේ පාර වැඩක් නැතිවෙයි.ඔය කීවට ගෙවල් හදලා දෙනවා කියලා ඒක කරන්න බෑ ආණ්ඩුවට."
මා කිසිවක් නොපවසා ඔවුනට සිනහවකින් සංග්‍රහ කොට ඡන්ද පොරොන්දු සහිත කොළය  පොඩි කර ලිප ළඟින් තැබුවේ ලිප දැල්වීමට එය ප්‍රයෝජනවත් වන නිසාය.
"රාමසිංහ මුදළාලි  වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගමු"
එහි විශාල අකුරින් ලියා ඇත.
තාත්තා කියූ දේ බොරුවක් නොවේ.රාවණා මැඩලන්නට එවූ හීයෙන් සාමසරයට මේ ශාපය වන්නට ඇතැයි මට දැන් සිතේ.එකිනෙකාගේ බලය රැකගන්නට යාම තුල හැමදාමත් පීඩාවට පත්වුණේ අහිංසක අපිම නොවෙදැයි මට සිතේ.
"කවුද පුතේ ඇවිත් ගියේ?"තාත්තා අසයි

"රාමා"

මා ඔහුට හඬගා කීවෙමි..

        නිමි!!!
HS/2016/0549
H.P.D.S.KUMARASINGHA 
TRADITIONAL COMMUNICATION

11 comments:

රාමසරය(කෙටි කතාව)

         දැල්වෙමින්  තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර ...