Saturday, August 31, 2019

රාමසරය(කෙටි කතාව)

        දැල්වෙමින් තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර තුනකට පෙර අම්මාත්,තාත්තාත්,මමත්,මල්ලීත් සිත්සේ ජීවත් වූ සාමසර  කඳු වැටිය තාමත් මට පෙනෙන්කු රකුසෙකු පරිද්දෙනි..අම්මාත්,මල්ලීත් පස් අතර වැළලී මිය ගිය සැටි මගේ මතකයට නැගෙන සෑම මොහොතකම මගේ හදවත නිහඩවම සුසුම් ලන බව මම දනිමි.
           
             තාත්තාත්,මමත් යාන්තමින් දිවි ගලවා ගත්තද තාත්තා ජීවිතාන්තය දක්වාම ඔත්පල විය.ලෙඩ ඇදේ දුක් විදින තාත්තා රේඩියෝව ළඟ තබාගෙන දවස පුරා බණ අසයි.නිහඬ බව බිඳෙමින් ඇහෙනා රැහැයියන්ගේ හඬ මලානික බවක් නැගුවද,තාත්තාගේ රේඩියෝවෙන් යන්තමට ඇසෙන පිරිත් හඬ මොහොතකට හදවත් සුවපත් කරයි.
        පුතේ,
තාත්තා මට අමතන හඬ ඈසේ.මම වහා ඔහු සිටින කාමරයට දිව ගියෙමි.
"බැටරිය ඉවර වුණා මයෙ හිතේ"
 රේඩියෝව දෙස බලමින් තාත්තා පැවසුවේය.

 "හෙට ගේමු"
මා සැබැවින්ම එසේ පැවසූවේ තාත්තාගේ හිත සැනසීමටය.
 "අද ආණ්ඩු පක්ෂෙ ඇමති කෙනෙක් කිව්වලු නායගිය පවුල් හැම එකකටම ගෙයක් හදලා දෙනවා කියලා"
 "ඕවා කියන්න නම් පුලුවන් කොරන්නනෙ බැරි ඡන්දෙ ළඟ නිසා වෙන්න ඇති..අනේ පුතේ මට කහට ඩිංගක් හදපන්කො"
 විගස කුස්සි කෑල්ලට දිවගිය මම අලුත් දර කැබැලි කිහිපයක් ගෙන ලිපට ළං කර පිඹින්නට වූයෙමි කෙසේ හෝ ලිප අවුලුවා ගත් මම නැවතත් තාත්තාගේ ඇඳ ළඟට ගොස් එහි වූ රෙදි පෙට්ටිය මත වාඩි වුණෙමි.
"එකෙක් බලයට එනවට එකෙක් කැමති නෑ මං හිතන් නෑ ඔය ගෙවල් හැදිල්ලත් වෙයි කියලා"තාත්තා සුසුමක් හෙළීය
"මේ මහා කන්දක් නාය ගියෙත් ඔය එක එකාගෙ බල ලෝභය නිසා තමයි"
තාත්තා කියූ දෙයින් මම වික්ෂිප්ත වූයෙමි.
"මොකක්ද තාත්තා ඒ හතර බීරි කතාව?"
මම විමසුවෙමි.
"රාම රාවණ යුද්ධයෙදි රාවණ පරද්දන්න රාමා එවපු හීයක් ඔය කඳු වැටියේ වැදිලා තියෙනවලු.ඔය කියන කාලෙට කලින්  මේ කඳු වැටිය බොහොම විශාලෙට තිබිලා තියෙනවලු.රාමා එවපු හීය වැදිලලු මේ කන්ද ඔය අද තියෙන විදිහට හැදිලා තියෙන්නේ.රාමගේ හී සරය වැදුණු නිසාවෙන් තමයි රාමසර,සාමසර වෙලා තියන්නෙ."
"එතකොට මේ කන්ද නායගිය එකට වගකියන්න ඕන රාමාද ?"
මා සිනාසුනේ සමච්චලයට මෙනි..
"රාවණා බලයට එන්න මාන බලන සෑම මොහොතකම රාමා මේ කඳු වැටියට හී පහරක් විදිනවලු රාවණාගේ බලය බිඳෙන්න.ඒ සාපෙ තමයි කලින් කලට අපට මේ පල දෙන්නෙ.අපේ ගම්මු මේ කතන්දර කීවේ කට කහනවට නෙවෙයි"
තාත්තා එක දිගටම කියාගෙන ගියේය
"ඕව ඉතිං ගොතපු කතානෙ"
මා සිනාසෙමින් කුස්සියට දිව ගියේ කහට කෝප්පයක් වත් කරගෙන එන්නටය.
කවුදෝ පිරිසකගේ කසු කුසුවක් ඈසේ.එකෙකු දෙකෙකු නොව පිරිසක් විය යුතුය.අඳුරේදීම මා ඔවුන් හඳුනාගත්තෙමි.
"ආ වැඩකර කරද හිටියෙ?මේ පාර ඉතිං විකල්ප නෑ.අපේ පක්ෂෙ දිනවන්න ඕනා.ඔයාලගෙ තාත්තව ඡන්ද පොළට එක්කරගෙන යන්න වාහනයක් අපි එවන්නම්.අනිත් පැත්තට ඡන්දෙ දීලානම් මේ පාර වැඩක් නැතිවෙයි.ඔය කීවට ගෙවල් හදලා දෙනවා කියලා ඒක කරන්න බෑ ආණ්ඩුවට."
මා කිසිවක් නොපවසා ඔවුනට සිනහවකින් සංග්‍රහ කොට ඡන්ද පොරොන්දු සහිත කොළය  පොඩි කර ලිප ළඟින් තැබුවේ ලිප දැල්වීමට එය ප්‍රයෝජනවත් වන නිසාය.
"රාමසිංහ මුදළාලි  වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගමු"
එහි විශාල අකුරින් ලියා ඇත.
තාත්තා කියූ දේ බොරුවක් නොවේ.රාවණා මැඩලන්නට එවූ හීයෙන් සාමසරයට මේ ශාපය වන්නට ඇතැයි මට දැන් සිතේ.එකිනෙකාගේ බලය රැකගන්නට යාම තුල හැමදාමත් පීඩාවට පත්වුණේ අහිංසක අපිම නොවෙදැයි මට සිතේ.
"කවුද පුතේ ඇවිත් ගියේ?"තාත්තා අසයි

"රාමා"

මා ඔහුට හඬගා කීවෙමි..

        නිමි!!!
HS/2016/0549
H.P.D.S.KUMARASINGHA 
TRADITIONAL COMMUNICATION

Tuesday, August 13, 2019

පිංබර නිකිණි පොහොය අදයි🙏

නිකිණි පුන් පොහොය දිනය බෞද්ධ අප කාටත් කිහිප ආකාරයකින් වැදගත් වේ.  අප බුද්ධ ශාසනයේ, ශාසනික ප්‍රතිපත්තිවලට අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට “වස්” එළඹීමට දින දෙකක් ඇත. එනම් “පෙර වස් හා පසු වස්” යනුවෙනි. මෙයින් පසු වස් එළඹෙනුයේ නිකිණි පොහොයටයි.
  • කොසොල් නුවර “උදේනි” නම් වැසියකු වස් කල කළ ඇරයුමකට භික්ෂූන් නොවැඩිය වග රජගහ නුවර වැඩසිටි අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේට සැළවිය. භික්ෂූන් වහන්සේ නමක් වස් එළඹ සිටියද සතියක් ඇතුලත ආපසු පැමිණෙන අදිටනින් වස් සීමාවෙන් පිටතට යා හැකි බවට සැළෙන “සත්තා හකරණය” නම් වූ පනත අප බුදු පියාණන් විසින් දේශනා කරන ලද්දේ මෙම නිකිණි පොහොය දිනකදීය.
  • සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්වන මස දෙවන දා එනම් නිකිණි මස අවදියවක්දා රජගහ නුවර “වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයේ” මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළේද මෙම උතුම් නිකිණි පොහොය දිනයේය.
  • මෙම උතුම් නිකිණි පොහොය දින සුදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සිටි “ආනන්ද තෙරණුවන්” අරහත් ඵලය ලැබීමයි. මෙය නිකිණි පොහොයදා අළුයම සිදු විය.
  • බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර ඇති සේරුවිල චෛත්‍යය තැනීම ඇරඹුනේද නිකිණි පොහෝ දිනකයි.
මෙලෙස නිකිණි පොහොය දින සියළු ලෝක සත්වයාට හිතසුව පිණිස යහපත පිණිස සිදුවූ සිදුවීම් මෙසේය🙏🙏🙏

Sunday, August 4, 2019

අට මහා කුසල් හැදිනගමු🙏

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය
."කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” 

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ


මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ. 
තවද අකුසලවිපාක සම්පූර්ණයෙන්ම අහෝසිවුවායි නොසිතිය යුතුවේ. මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති. 
එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය. 
බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ. 
අතීතයේ විසූ බොහෝ සැදැහැවත්හු මේ පුණ්‍යකාලය තුළ මේ අටමහා කුසලයන් සිදුකරගෙන පිංසිදු කරගත් ප්‍රවෘත්ති විවිධ කතා පුවත් මගින් දැනගන්නට ලැබී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ මේ පිළිබඳව සැමදෙනාගේ අවධානය විශේෂයෙන්ම යොමුවේවා🙏🙏🙏

Saturday, July 27, 2019

උතුම් බෞද්ධ පැවිද්ද පිළිබඳව බිදක්🙏🙏🙏

බෞද්ධ පැවිද්දේ අරමුණ විමුක්තියයි.එම නිසා ස්ත්‍රිපුරුෂ භාව හෝ ජාතිකත්වය පැවිද්දේ දී නොසැලකේ. එසේ වූව ද අන්‍ය ලබ්දිකයින් පැවිදි කරන්නේ නැත . බෞද්ධ පැවිද්දේ අවස්ථාවන් දෙකක් වේ. ප්‍රථම අවස්ථාව සාමණේර පැවිද්දයි.ඒ කාලය පුර්ණ පැවිද්දෙකු වීම සදහා පුහුණුවන යුගය ලෙස ද සැලකිය හැකිය. සාමණේර යන පදයේ අරුත ශ්‍රමණයාගේ (බෞද්ධ භික්ෂුවගේ හෝ බුදු රජුන්ගේ )පුත්‍රයා  යන්නයි. දෙවන අවස්ථාව වන්නේ උපසම්පදා අවස්ථාවයි. එය පූර්ණ පැවිද්ද ලෙස නම් කළ හැකිය. උපසම්පදාව ලැබෙන්නේ විධිමත් සංඝ සභාවක අනුමැතිය ඇතිව පාලි විනය පිඨකයේ දැක්වෙන ආකාරයේ විනය කර්මයක් මගිනි. එසේ උපසම්පදා ව ලබා දී මෙ දී සලකා බැලිය යුතු කරුණු රැසක් තිබේ. ඒ අතර පැවිදි උපසම්පදා කිරීමට නොසුදුසු පුද්ගයින් ගේ නාම ලේඛනයක් විනය පිඨකයේ සදහන් වේ .01 පණ්ඩකයා 02 උභතෝ බ්‍යඤ්ජකයා03 ථෙය්‍ය සංවාසකයා04 තිත්ථිය පක්කන්තකයා 05 තිරශ්චීනයා 06 මාතෘඝාතකයා 07 පීතෘඝාතකයා 08 අරහන්ත ඝාතකයා09 ලෝහිතුප්පාදකයා 10 සංඝභේදකයා 11 භික්ෂුණි දුෂකයා මව් පියන් හෝ භාරකාරයන් නොවිමසා පැවිදි නොකළ යුතු අතර විහාක අයෙකුනම් බිරිදගෙන් / ස්වාමියාගෙන් හෝ දරුවන්ගෙන් විමසා අවසර ගතයුතුය.මෙලෙස උතුම් සම්බුද්ධ සාසනය තුල උතුම් පැවිද්ද ලබා ගතහැකිය...අපටද යම් දිනයක මෙම සම්බුද්ධ සාසනය තුලම උතුම් පැවිදි දිවිය ලබන්නට නිතර පිං කුසල් වැඩේවා...අපි කරන සෑම කුසලයක්ම පාරමිතාවක්ම වේවා..එයයි සසුන අපේ එකම පැතුම🙏🙏🙏🙏

Tuesday, July 23, 2019

අයං වස්සාන කාලෝ(මේ වැසි සමයයි)

වස්සාන සමය හෙවත් වස්සාන ලිය යනු ජුලි සිට ඔක්තෝබර් දක්වා කාල පරිච්‍ඡේදයයි. මෙම කාලය තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානය තුළ ම රැදී සිටිති. සමහරක් ආරාමයන්හි භික්ෂුන් වහන්සේලා වස්සාන සමය භාවනාව සඳහා ‍යොමු වීමට භාවිතා කරති. බෞද්ධ බැතිමතුන් මෙම සමයේ දී තම ශ්‍රද්ධාව වැඩිදියුණු කර ගැනීම, මස් මාංශ හා මධ්‍යසාර වලින් තොරවීම වැනි ක්‍රියාවල නිරත වේ. තායිලන්ත‍ය වැනි රටවල සමහරක් ගිහියෝ වස්සාන සමයේ දී තාවකාලික පැවිද්ද ලබාගනිති. භික්ෂුවක් භික්ෂු ජීවිතය ගත කළ කාලය මැන බැලෙන්නේ ගත කළ වස්කාල ගණන අනුවය. මෙම සම්ප්‍රදාය මහායාන බුදුදහමේ දක්නට නොලැබේ. එයට හේතුව මහායාන බුදු දහම ප්‍රචලිතව ‍පැවතුනේ වැසි සමයක් රහිත ප්‍රදේශයක වීමයි.

වස්සාන කාලයේ ආරම්භය බෞද්ධ ඉතිහාසයේ මුල් යුගය දක්වා දිවේ. වෙනත් ආගම් වලට අයත් වන තාපසයෝ මෙම සමයේ පැලවීගෙන එන වගාවන්ට හානිකිරීමට ඇති අකමැත්ත නිසා මෙම සමයේ දී ගමන්වල නොයෙදේ. එම හේතුවෙන් බුදුරජාණන් වහන්සේ වස්කාලය ආරාම තුළ ගතකරන ලෙස විනය නීතියක් පැණවුහ.


වස්සාන සමය ආරම්භය 8 වන චන්ද්‍ර මාසය හෙවත් ඇසළ මස දී ආරම්භ වේ. ඇසළ පුජාවේදී ගිහියෝ ආරාමවලට අවශ්‍ය දේ පූජා කරති. වස්සාන කාලය අවසාන වන්නේ කඨින පින්කමෙනි. මෙම පූජාවේ දී ගිහියන් විසින් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය සිවුරු පිරිකර පූජා කරති.මේ උතුම් කාලයේ අපිත් සිව්පසයෙන් මහා සංඝරත්නයට ඇප උපස්ථාන කොට මහත්ඵල වූ පිං රැස් කර ගනිමු...

Friday, July 19, 2019

සරණක් වෙමු....🙏🙏

මේ පුංචි දියණිය සිටින්නේ හෝමාගම තලගල කැළුම්තපෝ මෙහෙණි ආරාමයේ මෙහෙණින්වහන්සේලාගේ සෙවනෙයි...අනාගතයේ මෙහෙණින්වහන්සේ නමක් වීමේ අරමුණින් මෙම දරුවන් එහි වාසය කරනු ලබයි...මැය පමණක් නොව තවත් දැරිවියන් කිහිපදෙනෙකුම එම ආරාමයේ සිටිනු ඇත..ඉතා ශීලාචාර ගති පැවතුම් වත් පිළිවෙත් ආදිය ඉතා මැනවින් ඉගෙන ගනිමින් මෙහෙණින්වහන්සේලාගේ සෙවනේ අධ්‍යාපනයද ලබනු ඇත....නමුත් නොදුරු අනාගතයේ බුදු සසුනේ ශ්‍රාවිකාවන් බවට පත්වුවද ඔවුනට අග හිගකම් අපමණය...මවගේ පියාගේ සෙනෙහස අවශ්‍යම කාලයේ ඔවුන් යම් යම් හේතු නිසා වෙන්ව සිටියත් සිල්මාතාවන්ගේ උපරිම සෙනෙහස රැකවරණය ඔවුනට නිරතුරුම ලැබෙනු ඇත..එසේම එම ගම්මානයේද අධ්‍යාපන කටයුතු සදහා පිහිට පතන සරණ පතන බොහෝ පිරිස ඇත...එක දරුවෙකුගේ හෝ නෙත් පාදන්නට ඇත්නම් එය මිනිසුන් ලෙස කෙතරම් වටිනවාද...ඊටත් වඩා කෙතරම් පිනක්ද...ඔබත් එවැනි පිංකමක කොටස්කාරයෙක් වීමට කැමතිනම් පොතකින් පෑනකින් හෝ සසුන අපට කතා කරන්න...0764355754

Monday, July 15, 2019

පිංබර ඇසළ පොහොය අදයි.....🙏

බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග මහණුන් අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වූහ. ඇසළ පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි සෑම සිදුවීමක් අතරම එය වඩාත් ප්‍රමුඛත්වය ගනියි.
ශාසන ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත් පිළිබඳ විමසීමේදී ඓතිහාසික වූත් පූජනීය වූත් තවත් අසිරිමත් සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙසද ඇසළ පොහොය දිනය හඳුන්වා දිය හැකිය.
ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට අමතරව ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට මුල් වන කරුණු මෙසේ ගොනුකොට පෙන්වා දිය හැකිය.
වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම,
විසි නව වන වියේදී සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම,
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම,
රාහුල කුමරු ඉපදීම
ගණ්ඩබ්බ රුක් මුල් හිදී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහර පෑම,
මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදු කිරීම,
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම
ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේදී ඇසළ පොහොය සම්බන්ධයෙන් වැදගත් වන කරුණු මෙසේය.
මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම,
ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම,
දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව
මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමුවරට ලක්දිව වස් එළඹීම.
දුටුගැමුණු මහරජු රුවන්වැලි මහසෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම.
එම මහා සෑයෙහි ධාතු නිධානෝත්සවය සිදු කිරීම,
දළදා වහන්සේ ලක්දිවට වැඩම කර වීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම.
භික්ෂූන් වහන්සේලා වස් එළඹෙන දිනය වීම
ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග මහණුන් අරභයා මෙසේ දේශනා කළහ.
ද්වෙ මේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා, යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනොගම්මො පොථුජ්ඡනිකො අනරියො අනන්ථ සංහිතො යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො, එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධො, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.
මෙහි සිංහල අර්ථය මෙසේය.
මහණෙනි, පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් ලාමක වු ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වු වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද, එසේම දුක් උපදවන්නා වු අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වු යම් අත්තකිලමථානුයෝගයක් ඇද්ද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරෙයි. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සංසිඳීම පිණිස චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේය.
සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහකොට ඇත. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මෙම අංග සතර බෙදා වෙන්කොට තිබේ. බුදුදහමේ මූලික ඉගැන්වීම මෙම චතුරාර්ය සත්‍යයයි. පළමුව එන දුක තුළින් ඉගැන්වෙනුයේ ජාතිය හෙවත් ඉපදීම, ජරාව, හෙවත් සත්ත්වයා ගේ වයස් ගතවීම, රෝගය, මරණය, අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම හා කෙටියෙන් කිවහොත් උපාදාන ස්කන්ධ පහම දුක් සහගත බවයි.
දුක ඇතිවීමේ හේතුව ලෙස ඉගැන්වෙනුයේ නැවත ඉපදීමට හේතුවන (පොනොභවිකා) නන්දිරාගයෙන් යුක්තවන (නන්දිරාග සහගතා) ඒ ඒ තැන්හි ඇලෙනසුළු (තත්‍රතත්‍රාභිනන්දිනී) තණ්හාවයි. එනම් රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යන පංච කාමයන් රසවිඳීම පිළිබඳ තණ්හාව (කාම තණ්හා) එම කාමයන් ස්ථිරය, සදාකාලිකය, දිගින් දිගටම පවත්නේය. යනුවෙන් නැවත නැවත ඉපදීමත්, පැවැත්මත් පිළිබඳ තණ්හාව (භව තණ්හා) නො ඉපදීමත්, නොපැවැත්මත් පිළිබඳ හෙවත් පංචස්කන්ධය හා බැඳුණු කාමයන් මෙතැනින් අවසන්ය. නැසීමෙන් කෙළවර වන්නේය. (විභව තණ්හා) යනුවෙන් උපදනා ආශාවයි.
දුක නැති කිරීම යනු තණ්හාව ඉතිරියක් නැතිව ඉවත් කිරීම , නැති කිරීම,අත්හැරීම, මුළුමනින්ම ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නො ඇලීමයි. දුක නැති කිරීමේ මාර්ගය නම් සම්මා දිට්ඨි , සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය. යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක්දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. ඒ අනුව ඇසළ පොහෝදා සිදුවු සදා අනුස්මරණීය සිදුවීම මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීමයි. ඓතිහාසික වූත්, පූජනීය වූත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ආමිෂ පුජාවන්ට මෙන්ම වෙසෙසින් ප්‍රතිපත්ති පූජාවන්ටද මුල්තැන දෙමින් අර්ථවත්ව සැමරීම කෙරෙහි සැදැහැවත් සියලු දෙනාම වඩාත් උත්සුක විය යුත්තාහුය

රාමසරය(කෙටි කතාව)

         දැල්වෙමින්  තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර ...