Saturday, July 27, 2019
උතුම් බෞද්ධ පැවිද්ද පිළිබඳව බිදක්🙏🙏🙏
බෞද්ධ පැවිද්දේ අරමුණ විමුක්තියයි.එම නිසා ස්ත්‍රිපුරුෂ භාව හෝ ජාතිකත්වය පැවිද්දේ දී නොසැලකේ. එසේ වූව ද අන්‍ය ලබ්දිකයින් පැවිදි කරන්නේ නැත . බෞද්ධ පැවිද්දේ අවස්ථාවන් දෙකක් වේ. ප්‍රථම අවස්ථාව සාමණේර පැවිද්දයි.ඒ කාලය පුර්ණ පැවිද්දෙකු වීම සදහා පුහුණුවන යුගය ලෙස ද සැලකිය හැකිය. සාමණේර යන පදයේ අරුත ශ්‍රමණයාගේ (බෞද්ධ භික්ෂුවගේ හෝ බුදු රජුන්ගේ )පුත්‍රයා යන්නයි. දෙවන අවස්ථාව වන්නේ උපසම්පදා අවස්ථාවයි. එය පූර්ණ පැවිද්ද ලෙස නම් කළ හැකිය. උපසම්පදාව ලැබෙන්නේ විධිමත් සංඝ සභාවක අනුමැතිය ඇතිව පාලි විනය පිඨකයේ දැක්වෙන ආකාරයේ විනය කර්මයක් මගිනි. එසේ උපසම්පදා ව ලබා දී මෙ දී සලකා බැලිය යුතු කරුණු රැසක් තිබේ. ඒ අතර පැවිදි උපසම්පදා කිරීමට නොසුදුසු පුද්ගයින් ගේ නාම ලේඛනයක් විනය පිඨකයේ සදහන් වේ .01 පණ්ඩකයා 02 උභතෝ බ්‍යඤ්ජකයා03 ථෙය්‍ය සංවාසකයා04 තිත්ථිය පක්කන්තකයා 05 තිරශ්චීනයා 06 මාතෘඝාතකයා 07 පීතෘඝාතකයා 08 අරහන්ත ඝාතකයා09 ලෝහිතුප්පාදකයා 10 සංඝභේදකයා 11 භික්ෂුණි දුෂකයා මව් පියන් හෝ භාරකාරයන් නොවිමසා පැවිදි නොකළ යුතු අතර විහාක අයෙකුනම් බිරිදගෙන් / ස්වාමියාගෙන් හෝ දරුවන්ගෙන් විමසා අවසර ගතයුතුය.මෙලෙස උතුම් සම්බුද්ධ සාසනය තුල උතුම් පැවිද්ද ලබා ගතහැකිය...අපටද යම් දිනයක මෙම සම්බුද්ධ සාසනය තුලම උතුම් පැවිදි දිවිය ලබන්නට නිතර පිං කුසල් වැඩේවා...අපි කරන සෑම කුසලයක්ම පාරමිතාවක්ම වේවා..එයයි සසුන අපේ එකම පැතුම🙏🙏🙏🙏
Tuesday, July 23, 2019
අයං වස්සාන කාලෝ(මේ වැසි සමයයි)
වස්සාන සමය හෙවත් වස්සාන ලිය යනු ජුලි සිට ඔක්තෝබර් දක්වා කාල පරිච්‍ඡේදයයි. මෙම කාලය තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානය තුළ ම රැදී සිටිති. සමහරක් ආරාමයන්හි භික්ෂුන් වහන්සේලා වස්සාන සමය භාවනාව සඳහා යොමු වීමට භාවිතා කරති. බෞද්ධ බැතිමතුන් මෙම සමයේ දී තම ශ්‍රද්ධාව වැඩිදියුණු කර ගැනීම, මස් මාංශ හා මධ්‍යසාර වලින් තොරවීම වැනි ක්‍රියාවල නිරත වේ. තායිලන්තය වැනි රටවල සමහරක් ගිහියෝ වස්සාන සමයේ දී තාවකාලික පැවිද්ද ලබාගනිති. භික්ෂුවක් භික්ෂු ජීවිතය ගත කළ කාලය මැන බැලෙන්නේ ගත කළ වස්කාල ගණන අනුවය. මෙම සම්ප්‍රදාය මහායාන බුදුදහමේ දක්නට නොලැබේ. එයට හේතුව මහායාන බුදු දහම ප්‍රචලිතව පැවතුනේ වැසි සමයක් රහිත ප්‍රදේශයක වීමයි.
වස්සාන කාලයේ ආරම්භය බෞද්ධ ඉතිහාසයේ මුල් යුගය දක්වා දිවේ. වෙනත් ආගම් වලට අයත් වන තාපසයෝ මෙම සමයේ පැලවීගෙන එන වගාවන්ට හානිකිරීමට ඇති අකමැත්ත නිසා මෙම සමයේ දී ගමන්වල නොයෙදේ. එම හේතුවෙන් බුදුරජාණන් වහන්සේ වස්කාලය ආරාම තුළ ගතකරන ලෙස විනය නීතියක් පැණවුහ.
වස්සාන සමය ආරම්භය 8 වන චන්ද්‍ර මාසය හෙවත් ඇසළ මස දී ආරම්භ වේ. ඇසළ පුජාවේදී ගිහියෝ ආරාමවලට අවශ්‍ය දේ පූජා කරති. වස්සාන කාලය අවසාන වන්නේ කඨින පින්කමෙනි. මෙම පූජාවේ දී ගිහියන් විසින් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය සිවුරු පිරිකර පූජා කරති.මේ උතුම් කාලයේ අපිත් සිව්පසයෙන් මහා සංඝරත්නයට ඇප උපස්ථාන කොට මහත්ඵල වූ පිං රැස් කර ගනිමු...
Friday, July 19, 2019
සරණක් වෙමු....🙏🙏
මේ පුංචි දියණිය සිටින්නේ හෝමාගම තලගල කැළුම්තපෝ මෙහෙණි ආරාමයේ මෙහෙණින්වහන්සේලාගේ සෙවනෙයි...අනාගතයේ මෙහෙණින්වහන්සේ නමක් වීමේ අරමුණින් මෙම දරුවන් එහි වාසය කරනු ලබයි...මැය පමණක් නොව තවත් දැරිවියන් කිහිපදෙනෙකුම එම ආරාමයේ සිටිනු ඇත..ඉතා ශීලාචාර ගති පැවතුම් වත් පිළිවෙත් ආදිය ඉතා මැනවින් ඉගෙන ගනිමින් මෙහෙණින්වහන්සේලාගේ සෙවනේ අධ්‍යාපනයද ලබනු ඇත....නමුත් නොදුරු අනාගතයේ බුදු සසුනේ ශ්‍රාවිකාවන් බවට පත්වුවද ඔවුනට අග හිගකම් අපමණය...මවගේ පියාගේ සෙනෙහස අවශ්‍යම කාලයේ ඔවුන් යම් යම් හේතු නිසා වෙන්ව සිටියත් සිල්මාතාවන්ගේ උපරිම සෙනෙහස රැකවරණය ඔවුනට නිරතුරුම ලැබෙනු ඇත..එසේම එම ගම්මානයේද අධ්‍යාපන කටයුතු සදහා පිහිට පතන සරණ පතන බොහෝ පිරිස ඇත...එක දරුවෙකුගේ හෝ නෙත් පාදන්නට ඇත්නම් එය මිනිසුන් ලෙස කෙතරම් වටිනවාද...ඊටත් වඩා කෙතරම් පිනක්ද...ඔබත් එවැනි පිංකමක කොටස්කාරයෙක් වීමට කැමතිනම් පොතකින් පෑනකින් හෝ සසුන අපට කතා කරන්න...0764355754
Monday, July 15, 2019
පිංබර ඇසළ පොහොය අදයි.....🙏
බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග මහණුන් අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වූහ. ඇසළ පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි සෑම සිදුවීමක් අතරම එය වඩාත් ප්‍රමුඛත්වය ගනියි.
ශාසන ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත් පිළිබඳ විමසීමේදී ඓතිහාසික වූත් පූජනීය වූත් තවත් අසිරිමත් සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙසද ඇසළ පොහොය දිනය හඳුන්වා දිය හැකිය.
ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට අමතරව ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට මුල් වන කරුණු මෙසේ ගොනුකොට පෙන්වා දිය හැකිය.
වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම,
විසි නව වන වියේදී සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම,
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම,
රාහුල කුමරු ඉපදීම
ගණ්ඩබ්බ රුක් මුල් හිදී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහර පෑම,
මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදු කිරීම,
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම
ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේදී ඇසළ පොහොය සම්බන්ධයෙන් වැදගත් වන කරුණු මෙසේය.
මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම,
ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම,
දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව
මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමුවරට ලක්දිව වස් එළඹීම.
දුටුගැමුණු මහරජු රුවන්වැලි මහසෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම.
එම මහා සෑයෙහි ධාතු නිධානෝත්සවය සිදු කිරීම,
දළදා වහන්සේ ලක්දිවට වැඩම කර වීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම.
භික්ෂූන් වහන්සේලා වස් එළඹෙන දිනය වීම
ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග මහණුන් අරභයා මෙසේ දේශනා කළහ.
ද්වෙ මේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා, යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනොගම්මො පොථුජ්ඡනිකො අනරියො අනන්ථ සංහිතො යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො, එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධො, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.
මෙහි සිංහල අර්ථය මෙසේය.
මහණෙනි, පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් ලාමක වු ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වු වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද, එසේම දුක් උපදවන්නා වු අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වු යම් අත්තකිලමථානුයෝගයක් ඇද්ද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරෙයි. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සංසිඳීම පිණිස චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේය.
සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහකොට ඇත. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මෙම අංග සතර බෙදා වෙන්කොට තිබේ. බුදුදහමේ මූලික ඉගැන්වීම මෙම චතුරාර්ය සත්‍යයයි. පළමුව එන දුක තුළින් ඉගැන්වෙනුයේ ජාතිය හෙවත් ඉපදීම, ජරාව, හෙවත් සත්ත්වයා ගේ වයස් ගතවීම, රෝගය, මරණය, අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම හා කෙටියෙන් කිවහොත් උපාදාන ස්කන්ධ පහම දුක් සහගත බවයි.
දුක ඇතිවීමේ හේතුව ලෙස ඉගැන්වෙනුයේ නැවත ඉපදීමට හේතුවන (පොනොභවිකා) නන්දිරාගයෙන් යුක්තවන (නන්දිරාග සහගතා) ඒ ඒ තැන්හි ඇලෙනසුළු (තත්‍රතත්‍රාභිනන්දිනී) තණ්හාවයි. එනම් රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යන පංච කාමයන් රසවිඳීම පිළිබඳ තණ්හාව (කාම තණ්හා) එම කාමයන් ස්ථිරය, සදාකාලිකය, දිගින් දිගටම පවත්නේය. යනුවෙන් නැවත නැවත ඉපදීමත්, පැවැත්මත් පිළිබඳ තණ්හාව (භව තණ්හා) නො ඉපදීමත්, නොපැවැත්මත් පිළිබඳ හෙවත් පංචස්කන්ධය හා බැඳුණු කාමයන් මෙතැනින් අවසන්ය. නැසීමෙන් කෙළවර වන්නේය. (විභව තණ්හා) යනුවෙන් උපදනා ආශාවයි.
දුක නැති කිරීම යනු තණ්හාව ඉතිරියක් නැතිව ඉවත් කිරීම , නැති කිරීම,අත්හැරීම, මුළුමනින්ම ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නො ඇලීමයි. දුක නැති කිරීමේ මාර්ගය නම් සම්මා දිට්ඨි , සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය. යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක්දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. ඒ අනුව ඇසළ පොහෝදා සිදුවු සදා අනුස්මරණීය සිදුවීම මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීමයි. ඓතිහාසික වූත්, පූජනීය වූත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ආමිෂ පුජාවන්ට මෙන්ම වෙසෙසින් ප්‍රතිපත්ති පූජාවන්ටද මුල්තැන දෙමින් අර්ථවත්ව සැමරීම කෙරෙහි සැදැහැවත් සියලු දෙනාම වඩාත් උත්සුක විය යුත්තාහුය
Saturday, July 13, 2019
ශ්‍රී ගෞතම සම්බුදු සසුන ශෝභමාන කල සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව දැන ගනිමු🙏
ගෞතම බුදු සසුන ශෝභමාන කළ පරම වූ අග්‍ර ශ්‍රාවක යුගළ වනාහී ශ්‍රාවක සංඝරත්නයේ මුදුන්මල්කඩ යි. එනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේ වන ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ ය, වාම ශ්‍රාවකයන් වහන්සේ වන ධර්ම පුරෝහිත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ය.
මෙයින් ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර සියලු ධර්මයන්හී පරතෙරට පැමිණි “අනෝමදස්සී” සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සාරද සහ සිරිවඞ්ඪ යන නමින් යුතු මිතුරන් දෙදෙනෙකුව සිටියදී මහා දන් පවත්වා මතු බුදුවන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබීමට අනෝමදස්සී බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවෝ ය.
එසේ නියත විවරණ ලබා ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමීදම් පුරමින් පැමිණ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සමයේ මනුලොවට පැමිණියහ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කල නම වූයේ ‘උපතිස්ස’ ය. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ නම ‘කෝලිත’ විය. මේ දෙදෙනා ම ඉපිද සිටියේ බ්‍රාහ්මණ මහාසාර කුලයකයි. උපතිස්ස, කෝලිත දෙදෙනා කුඩා කල පටන් ම ඉතා ම හොඳ මිතුරෝ වූහ. උපතිස්ස කෝලිත යහළුවන් දෙදෙනා ඉතාමත්ම ප්‍රඥාවන්ත ය. ඉතා හොඳින් සිප්සතර හදාරා වේදයෙහි කෙළවර පැමිණියහ.
උපතිස්ස, කෝලිත දෙදෙනා ගිහිගෙදර අත්හැරීමට තීරණය කළේ රජගහනුවර ‘ගිරග්ග සමජ්ජ’ නමැති සැණකෙළිය නැරඹීමට ගිය මොහොතේ ය. එහි දී මොවුන් දෙදෙනා ජීවිතයේ ඇති නිස්සාර බව හොඳින් වටහාගෙන විමුක්තියක් සොයා පිටත්ව ගියහ. උපතිස්ස, කෝලිත යහළුවන් දෙදෙනා ද ඔවුන්ගේ පන්සියයක් පමණ යහළුවන් ද සංජය පරිබ්‍රාජක ළඟට ගොස් පැවිදි වූහ.
සංජය පිරිවැජියා ළඟ සිටීමෙන් විමුක්තියක් සොයාගැනීමට නො හැකි බව දැනගත් උපතිස්ස, කෝලිත දෙදෙනා විමුක්ති මඟ සොයා යන අතරේ උපතිස්සයන් හට අස්සජී මහරහතන් වහන්සේ හමු විය. උන්වහන්සේ “යේ ධම්මා හේතුප්පභවා” යන ගාථාව දේශනා කළ කල්හී එහි පළමු පද දෙක ඇසීමෙන් ම උපතිස්ස තෙමේ සෝතාපන්න විය. හෙතෙමේ තම මිතුරා වන කෝලිත හට මෙම ගාථාව ප්‍රකාශ කරන කල්හී පද හතර ශ්‍රවණය කිරීමෙන් කෝලිත තෙමේ ද සෝතාපන්න විය. උපතිස්ස කෝලිත තම මිතුරන් ද සමඟ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ ඒහිභික්ෂු පැවිදි බව ලදහ. උපතිස්ස තෙමේ ගෞතම බුද්ධ ශාසනයේ සාරිපුත්ත නමින් ප්‍රචලිත විය. කෝලිත තෙමේ මහා මොග්ගල්ලාන නමින් ප්‍රචලිත විය. ගෞතම බුදුරජුන්ගේ දකුණත් ශ්‍රාවක වූයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ය. වමත් ශ්‍රාවක වූයේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ය.
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝයා ඉදිරියේ දී සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලාට අග තනතුරු පිරිනමන ලද්දේ මේ අයුරිනි.“ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තෝ” මහණෙනි, මාගේ ශ්‍රාවක වූ මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතර සාරිපුත්තයන් ම අග්‍ර වන්නේය. “ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානෝ”මහණෙනි, මාගේ ශ්‍රාවක වූ ඉර්ධිමත් භික්ෂූන් අතර මහා මොග්ගල්ලානයන් ම අග්‍ර වන්නේය යනුවෙනි.
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් පරමාදර්ශය ලෙසට, මිනුම් දණ්ඩ ලෙස තබාගත යුත්තේ සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා බව වදාළ සේක. “ මහණෙනි, ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් මැනැවින් අයදිනවා නම්, මේ සාරිපුත්ත, මොග්ගල්ලාන යම් බඳු වෙත්ද, එබඳු වූ කෙනෙක් වන්නෙමි’යි කියලයි ආයාචනා කළ යුත්තේ. මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් හට මිනුම් දණ්ඩ වන්නේ ද, පරමාදර්ශය වන්නේ ද, මේ සාරිපුත්ත, මොග්ගල්ලාන දෙනම යි.
බුදුරජාණන් වහන්සේ සච්ච විභංග සූත්‍රයේදී මෙසේ වදාළ සේක. “සේවේථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, භජථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, පණ්ඩිතා භික්ඛූ අනුග්ගාහකා සබ්‍රහ්මචාරීනං” පින්වත් මහණෙනි සාරිපුත්ත හා මොග්ගල්ලානයන් ඇසුරු කළ යුත්තේ ය. සාරිපුත්ත හා මොග්ගල්ලානයන් භජනය කළ යුත්තේ ය, ඔවුහු නුවණැත්තෝ ය, සබ්‍රහ්මචාරී භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ දක්වන්නෝ ය.
“සෙය්‍යථාපි භික්ඛවේ ජනෙත්ති ඒවං සාරිපුත්තෝ පින්වත් මහණෙනි දරුවන් වදන්නා වූ මෑණියන් යම් සේ ද සාරිපුත්තයන් ද ඒ ආකාර ම ය. සෙය්‍යථාපි ජාතස්ස ආපාදේතා ඒවං මොග්ගල්ලානෝඋපන්නා වූ දරුවා පෝෂණය කරන තැනැත්තා යම් සේ ද මොග්ගල්ලානයන් ඒ ආකාර ම ය. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපත්ති ඵලේ විනේති පින්වත් මහණෙනි සාරිපුත්තයන් සෝවාන් ඵලය අවබෝධ කර ගැනීම පිණිස ශ්‍රාවකයන් හික්මවන්නේ ය. මොග්ගල්ලානෝ උත්තමත්ථේ විනේති මොග්ගල්ලානයන් ඉහළ මාර්ගඵලයන් අවබෝධ කර ගැනීම පිණිස ශ්‍රාවකයන් හික්මවන්නේ ය.”
සම්බුදු මුව මඬලින් මෙවැනි ආකාරයේ ප්‍රසංශාවන්ට බඳුන් වූ ඒ පරම වූ අග්‍රශාවක යුගළ පිළිබඳ සිහිකරන වාරයක් පාසා අප හට එය බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ය.
මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ ප්‍රඥාවෙන් දෙවැනි වූයේ බුදුරජාණන් වහන්සේට පමණි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ අයුරින් ම පවත්වන ලද්දේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ය.
දිනක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පුන් සඳ පායා ඇති රාත්‍රියක කෙස් රැවුල් බා එළිමහනට වී එක්තරා සමවතකට සමවැදී සිටියහ. පවිටු යක්ෂයෙක් ඉතා වේගයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිසට පහරක් ගැසී ය. එවිට ඒ පවිටු යක්ෂයා එතැනම චුත වී මහා නිරයට ඇදගෙන වැටුණේ ය. ඒ යක්ෂයා සාරිපුත්තයන් වහන්සේගේ හිසට පහර දෙන විට, මහා මොග්ගල්ලානයන් වහන්සේ දිවැසින් එම සිදුවීම දැක වහා සාරිපුත්තයන් වහන්සේ ළඟට පැමිණ සුවදුක් විමසුවේ ය. එවිට සාරිපුත්තයන් වහන්සේ පැවසුවේ කිසිදු අපහසුවක් නොමැති බවත් යාන්තමට හිසේ කැක්කුමක් තිබෙන බවත් ය. ඒ අසා විස්මයට පත් වූ මහා මොග්ගල්ලානයන් වහන්සේ මෙසේ පැවසුවේ ය.
“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් කොයිතරම් මහා ඍද්ධිමත් ද, කොයිතරම් මහානුභාව සම්පන්න ද යන මෙය ආශ්චර්යයයි! අද්භූතයි! දැන් එක්තරා යකෙක් ඔබවහන්සේගේ හිසට පහරක් දුන්නා. ඒක මහා බලවත් පහරක්. එවැනි පහරකින් විශාල ඇතෙක්ව බිම දමන්නට වුනත් පුළුවනි. මහා පර්වතයක් පලා දමන්න වුනත් පුළුවනි. නමුත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට ඉවසන්න පුළුවනි. මට දරාගන්න පුළුවනි. නමුත් හිසේ යාන්තමට කැක්කුමක් තියෙනවා’ කියලා.”
එවිට සාරිපුත්තයන් වහන්සේ මෙසේ පැවසූ සේක. “ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් කොයිතරම් මහා ඍද්ධිමත් ද, කොයිතරම් මහානුභාව සම්පන්න ද යන මෙය ආශ්චර්යයි! අද්භූතයි! මෙතැන හිටපු යකෙක්වත් දැක්කා. නමුත් අපි නම් දැන් මෙතැන පාංශු පිශාචයෙක්වත් දැක්කේ නෑ.”
දේවදත්ත සංඝයා භේද කොට අලුත මහණ වූ භික්ෂූන් වහන්සේලා පන්සීයක් තමාගේ මතයට හරවාගෙන ඔවුන් ද සමගින් ගයා ශීර්ෂය බලා පිටත්ව ගියේ ය. බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ඒ භික්ෂූන් වහන්සේලාට පිහිට වීමේ බලාපොරොත්තුවෙන් ගයා ශීර්ෂයට වැඩම කොට ඒ නවක භික්ෂූන් වහන්සේලා පන්සියනමට ධර්මය දේශනා කරන ලදී. එහි දී පන්සියනමක් වූ නවක භික්ෂූන් වහන්සේලා සියලු ම දෙනා සෝතාපන්න ඵලයට පත් වූහ. ඔවුහු ඒ පරම වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම නිසා දේවදත්තගේ පාප මිත්‍ර ආශ්‍රයෙන් නිදහස් වූහ.
එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ, කය ඍජු කොටගෙන තමන්ගේ කෙලෙස් සංසිඳීම ගැන නුවණින් විමසමින් වැඩසිටියහ.
එය දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ උදානය වදාළ සේක.
“උපශාන්ත වූ, සංසිඳුනු සිත් ඇති, භව රැහැන් සිඳ දැමූ, ඒ භික්ෂුවගේ ඉපදෙන මැරෙන සංසාරය ගෙවිලා ඉවරයි. ඒ භික්ෂුව මාර බන්ධනයෙන් නිදහස් වෙලයි ඉන්නේ.”
තවත් අවස්ථාවක මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ, කය ඍජු කොටගෙන, තමා තුළ කායානුපස්සනා භාවනාවේ සිහිය මනාකොට පිහිටුවා වාඩි වී සිටියහ. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ උදානය වදාළ සේක.
“කායානුපස්සනාවේ සිහිය පිහිටුවා ගෙන ඉන්නේ. ස්පර්ශ ආයතන හයම සංවර වෙලයි තියෙන්නේ. භික්ෂුව නිතරම සමාහිත සිතිනුයි ඉන්නේ. අන්න ඒ භික්ෂුව තමන් සාක්ෂාත් කරපු අමා නිවන ගැන දන්නවා.”
අග්‍ර ශ්‍රාවක දෙනම වූ සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ගෞතම බුද්ධ ශාසනයට ඉටුකළ මෙහෙය අප්‍රමාණ ය, අනන්ත ය.
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ වජ්ජී ජනපදයෙහි උක්කචේල නුවර නදී තීරයෙහි මහත් භික්ෂු සංඝයා සමඟ වැඩවසන සේක. ඒ සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා දෙනම පිරිනිවන් පා වැඩිකලක් නැති අවදියකි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එළිමහනෙහි වැඩහුන් සේක. එකල්හී නිහඬ ව වැඩසිටි භික්ෂු සංඝයා දෙස බලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිරිනිවන් පෑ කල්හී මේ මුළු පිරිස ම හිස් වූවාක් මෙන් වැටහෙයි. මහණෙනි, යම් දිශාවක මේ සාරිපුත්ත මොග්ගල්ලානයෝ සිටිත් ද, මාගේ ඒ පිරිස හිස් නැත්තේ ය. ඒ දිශාවෙහි පිරිස දෙස බැලිය යුතු යැයි මට අපේක්ෂාවක් නොවෙයි.
මහණෙනි, අතීතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වූහ. මහණෙනි, අනාගතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටින්නාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වන්නාහු ය.
මහණෙනි, ශ්‍රාවකයන්ගේ ආශ්චර්යයකි! මහණෙනි, ශ්‍රාවකයන්ගේ අද්භූතයෙකි! ශාස්තෘන් වහන්සේ හා සම ව සසුන කරන්නෝ වන්නාහ. අවවාදයට අනුව ක්‍රියා කරන්නෝ ය. සිව් පිරිසට ප්‍රිය ව, මනාප ව, ගරු සම්භාවනාවට පාත්‍ර වන්නෝ ය.
මහණෙනි, තථාගතයන්ගේ ආශ්චර්යයකි! මහණෙනි, තථාගතයන්ගේ අද්භූතයෙකි! මෙබඳු වූ ශ්‍රාවක යුගලයක් පිරිනිවන් පෑ කල්හී පවා තථාගතයන් හට ශෝකයක් හෝ වැලපීමක් හෝ නැත්තේ ය. මහණෙනි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූයේ ද, නැසෙන ස්වභාව ඇත්තේ ද, එය ඒකාන්තයෙන් නොනැසේවා යි යන කරුණ කොයින් ලැබිය හැක්කේ ද? එකරුණ නැත්තේ ම ය.
මහණෙනි, අරටුව ඇති මහා වෘක්ෂයක යම් මහා ඇතුළු කඳක් තිබේ ද, එය නැසෙන්නේ යම් සෙයින් ද, එසෙයින් ම මහණෙනි, මහා භික්ෂු සංඝයාගේ අරටුව වශයෙන් සිටි සාරිපුත්තමොග්ගල්ලානයෝ ද පිරිනිවන් පෑහ.”
සම්බුදු මුව මඩලින් මේ සා මහත් වූ වර්ණනාවන්ට බඳුන් වූ ඒ පරම වූ අග්‍ර ශ්‍රාවක යුගළ වන ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට ද ධර්ම පුරෝහිත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා!
Friday, July 12, 2019
Saturday, July 6, 2019
Tuesday, July 2, 2019
ජීවිතයේ අනිත්‍යතාවය අවබෝධ කර ගන්නට බැරි බොහෝ දෙනෙක් ලෞකික වශයෙන් විඳින සැප සම්පත් හැර යාමට කිසිවිටක අපොහොසත් වෙති.
උපතේ පටන් මරණය දක්වාම අනිත්‍ය සිද්ධාන්තය මත ගමන් කළ ද, ඒ පිළිබඳව අනවබෝධය හේතුවෙන් සත්ත්වයා තව තවත් කම් සැප පසු පසම හඹා යති. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔස්සේ සත්ත්වයා භෞතික ලෝකය ගොඩ නඟා ගනී. එහි නිමග්නව මොහොතක් ගානේ කාම ලෝකය තුළ කිරුළු පැළඳීමට වෙහෙසෙති. ස:නි: බ්‍රාහ්මණ සංයුක්තයේ උදය සූත්‍රය තුළ පැහැදිලි වන ආකාරයට එතුළින් සත්ත්වයා නැවත නැවත දුකටම පත් වෙති.
පුනප්පුනං ඛීරනිකා දුහන්ති – පුනප්පුනං වච්ඡො උපෙත මාතරං
පුනප්පුනං කිලමති ළුන්දතීච – පුනප්පුනං ගබ්භමුපෙති මන්දො
පුනප්පුනං කිලමති ළුන්දතීච – පුනප්පුනං ගබ්භමුපෙති මන්දො
කිරි දොවන්නෝ නැවත නැවත දොවති. වස්සා නැවත නැවත මව වෙත එළඹෙයි. මේ ආකාරයෙන් සත්වයෝ නැවත නැවත වෙහෙස ලබති. කම්පා වෙති. බාලයා ( මෝඩයා ) නැවත නැවත මව්කුසට පැමිණෙයි.
පුනප්පුනං ජායති මීයති ච – පුනප්පුනං සීවථිකං හරන්ති
මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය – න පුනප්පුනං ජායති භුරිපඤ්ඤෝ
මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය – න පුනප්පුනං ජායති භුරිපඤ්ඤෝ
නැවත නැවත උපදියි. නැවත නැවත මියයයි.නැවත නැවත සොහොනට ගෙන යයි. නිවන් ලැබු නුවණැත්තා නැවත නැවත නූපදී.
ඉහත ගාථාද්වයෙන් පැහැදිලි වන්නේ ජීවිතයේ සැබෑ අර්ථය යි. වර්තමානය තුළ වසන්නන් හරියට යන්ත්‍ර සේ දිවි රැකුමට වෙහෙසෙති. සීමාව ඉක්මවා වස්තු සම්පත් සෙවීමට යෑම තුළ එය දෙගුණ තෙගුණ වශයෙන් සිදු වෙයි. සත්ත්වයා උපදින, මැරෙන ස්වභාවය නැවත නැවත සිදු වේ. ඒ අතර අනන්ත අප්‍රමාණ දුක් ජීවිතයට එකතු වෙති. රාග. ද්වේශ, මෝහ, ව්‍යාධි ජරා, මරණ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ,උපායාස යනාදී එකොළොස් ගින්නකින් සත්ත්වයා පිච්චි පිච්චී දැවි – දැවී සිටින්නේ ය. මේ බව දන්නෝ එයින් මිදීමට මඟ පාදා ගන්නා අතර. අනුවණයෝ තව තවත් සසර පිච්චි පිච්චී, මැරි මැරී උපදිති.
අප මහ බෝසතාණෝ අත්හැරීම සසර පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කළහ. බුදු වීමට පෙර ආත්ම දෙස බැලීමේ දී ද ඒ බව මනාව පිළිබිඹු වේ. බුද්ධ ධර්මයේ පදාර්ථ පහක් පිළිබඳව කියැවේ. සියලු දතයුතු දේ යන අර්ථයෙන් සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති යනුවෙන් පස් අංගයකින් ඒවා දක්වා ඇත. ඉන් විකාර යනුවෙන් හැඳින්වෙන්නේ විද්‍යාමාන වස්තුන්ගේ වෙනස් වීම ය. එසේනම් භෞතික වශයෙන් ශරීරය තුළ ද එම වෙනස් වීම දැකිය හැක. ඒ සඳහා අපට හොඳම නිදර්ශනයක් ලෙස පන්සිය පනස් ජාතක පොතෙහි නව වන ජාතකය වූ මඛාදේව ජාතකය පෙන්වා දීමට පුළුවන.
බුදුරදුන් පෙරුම්දම් පුරන සමයෙහි එක් භවයක වේදේහ රාජ්‍යයෙහි මියුලු නුවර මඛාදේව රජු වශයෙන් පෙනී සිටියහ. කෙස් කපන කරනවෑමියාට තමාගේ හිසෙහි පැසුණු හිස කෙසක් දුටුවොතින් දන්වන ලෙස කලින්ම මතක් කළේ ය. ඒ අනුව දිනක් කරණවෑමියා ඉදුණු කෙස් ගසක් දැක එය ගලවා රජු අතට දුන්හ.ඒ දැක රජු මහත් සංවේගයට පත් වී නරකෙස් එන තුරුත් කෙලෙස් අත්හළ නොහැකි වී යැයි තමන්ටම දොස් පවරා ගත්තේ ය. එපමණක් නොව තම රාජ්‍ය පුතුට පවරා රජු මඛාදේව අඹ උයනෙහි මහණදම් පුරන්නට යන බව පැවසී ය. ඒ අවස්ථාවේ දී ඇමතියන් ප්‍රශ්න කරන්නේ මහණ වීම සඳහා යන්නට හේතුව කුමක්ද යන්නයි. එහි දී මඛාදේව රජු දුන් පිළිතුර ඉතා වැදගත් ය. එනම්, “මරණය නළලට පැමිණියේ වෙයි. යම දූතයෙකු බඳු ය. එබැවින් මහණ වෙමි” යනුවෙනි.
මඛාදේව රජු රාජ්‍යත්වය අත්හැරීමට තීරණය කළේ එක් කෙස් ගසක් පැසී එය දිටීමෙනි. එතරම් ප්‍රමාද වීම ගැන බොහෝ දුක් විය.
රජ සැපතට වඩා තපස උතුම් කොට සැලකූ තේමිය කුමරා කොරෙක්, බිහිරෙක්, ගොළුවෙක්, විලසට රංගනයක යෙදී රජ සැපත බාර නො ගැනීමට අවස්ථාව සලසා ගත්තේය. පසුව තේමිය කුමරු රජ සැපතට නුසුදුසු ලෙස සලකා අමුසොහොනට ගෙන යෑමත්, එතැන දී තම සැබෑ තතු රාජ සේවකයින්ට දැන්වීම හා ඒ බව මව්පියන්ටද දන්වන ලෙස ඉල්ලීම් කිරීමත් සිදුවීමෙන් තපසට මඟ පාදා ගැනීමක් එම කතා පුවත තුළින් දක්නට ලැබේ. අද යුගය තුළ සැප සම්පත්, තානාත්තර කෙරෙහි ඇලුම් කරන, ඒ සඳහා සටන් කරන කාට වුව ද මෙවැනි දහම් කතා වැදගත් නොවන්නේ ද?
ජීවිතයේ සැබෑ තතු අවබෝධ කර ගැනීම අද අදම කළ යුතුව ඇත. ජීවත් වීමේ කාලය ඉතා සීමිත බැවිනි. එය ද අවිනිශ්චිත ය. සෑම තැනකින්ම මෙම ශරීර කූඩුව විනාශ වීමේ ප්‍රවණතාව වැඩි ය. අහස උසට මාලිගා හැදුවට ,අසීමිත ප්‍රාර්ථනා පොදි බැන්ඳට ඒවා ක්ෂණයකින් විනාශ වීම ධර්මතාවය යි. අත්තාහි අත්තනෝ නාථො – කෝහි නාථො පරෝසියා” තමාට පිහිට තමාම ය. වෙන කෙනෙකුන් පිහිට නො වන්නේ ය. එබැවින් “අත්ථ දීපා විහරථ” තමා තමාටම ප්‍රදීපයක් කොට වසන්න. මේ ආදි බුදු වදන් සිහියට ගෙන ජීවිතයේ අනිත්‍ය සිද්ධාන්තය භාවනාවක් කොට විසීම තුළින් අත්හැරීම පහසු වන්නේ ය. එතුළින් ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමටත් ,ලෝකෝත්තර වශයෙන් “නිබ්බානං පරමං සුඛං” පරම සැපත වූ නිවන් මඟ සාක්
ක්ෂාත් කර ගැනීමටත් හැකි වනු ඇත.
Monday, July 1, 2019
උතුම් චීවරය පිළිබඳව දැන ගනිමු..
සිවුරු පිළිබඳ දතයුතු කරුණුshare
තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ගේ පරිභෝගය පිණිස සිවුරු නවයක් අනුදැන වදාරා තිබේ. එයින් සංඝාටි උත්තරාසංග, අන්තරවාසක යන තුන ප්‍රධාන ය. අන්තරවාසක යනු අඳනය ය. උත්තරාසංග යනු උඩුකය වසනු පිණිස පොරෝනා සිවුර ය. සංඝාටි යනු විහාරයෙන් පිටත යන කල්හි ශරීරය හොඳින් වසාගනු පිණිස පාවිච්චි කරන සිවුර ය. දැනට අඳනය - තනි පට සිවුර - දෙපර සිවුරය” යි ව්‍යවහාර කරන්නේ මේ තුනට ය.
සිවුරුවල ප්‍රමාණ:
සියලු ම සිවුරු බුදුන් වහන්සේගේ සිවුරට කුඩා විය යුතු ය. උන්වහන්සේගේ සිවුරු දිගින්, සුගත් වියතින් නව වියතක් හා පුළුලින් සවියතක් ද වන්නේ ය. සුගත් වියත වඩුරියනෙන් එක්රියන් හමාරෙකි. බුදුන් වහන්සේ ගේ සිවුරෙහි දිග වඩු රියනින් දහතුන් රියන් හමාරක් වන්නේ ය. සුගත චීවරය පමණට දිග පුළුල ඇති සිවුරක් දැනට ඉන්නා අයට වුවමනා නැත. එහෙත් ඉතා කුඩා වුව හොත් පරිමණ්ඩල සුපටිච්ඡන්න සික පද රැකෙන සේ හැඳීම පෙරවීම කරන්නට අපහසු ය. ඉතා මහත් වීමෙන් ද ඒ දෝෂය වේ. එ බැවින් තම තමන්ගේ ශරීර ප්‍රමාණ අනුව සිවුරු පිළියෙළ කර ගත යුතු ය. දිගින් පස් රියනක් වූ ද, පුළුලින් දෙරියනක් හෝ දෙරියන් හමාරක් වූ ද අඳනය සුදුසු ය. තනි පොර දෙ පොට සිවුරු දිගින් පස්රියන් හමාරක් ද, පුළුලින් සතර රියන් හමාරක් ද වීම සුදුසු ය. පස්කඩ සත්කඩ ආදි වශයෙන් සිවුරු කඩ කපා මසා ගත යුතු ය. තුන් සිවුර ම කඩ කපා මසා ගැනීමට රෙදි මඳ වේ නම් එකක් හෝ දෙකක් කඩ නොකපා මසා ගැනීම ද සුදුසු ය. කඩ නොකැපූ සිවුරම නො දැරිය යුතු ය. අලුත් රෙදිවලින් සිවුරු කරන කල්හි අඳනය උත්තරාසංගය යන දෙක තනි පොටට ද සංඝාටිය දෙපොටක් කොට ද කළ යුතුය. රෙදි පරණ නම් අඳනය උත්තරාසංගය දෙපොට කොට ද සංඝාටිය සතරපොට කොට ද, පංසුකූල රෙදිවලින් සිවුරු මසත හොත් කැමති පරිදි ද මසා ගැනීමට අනු දැන වදාරා ඇත්තේ ය. සිවුරු මැසීමේ දී අලංකාරය පිණිස කිසි මැස්මක් නො කළ යුතු ය. ගණ්ඨිවලට යොදන රෙදි කැබලි සිවුරැස් කොට ම ගත යුතු ය. අලංකාරය පිණිස සිවුරුවල දහවලු නො තැබිය යුතු ය.
අංසකඩය බොහෝ පැවිද්දන් පරිභෝග කරන පරිෂ්කාරයෙකි. “න කඤ්චුකං ධාරෙතබ්බං” යි වදාරා ඇති බැවින් අංසකඩය පොරෝනා පරිෂ්කාරයක් ලෙස මිස කඤ්චුකයක් ලෙස නො මැසිය යුතු ය. කඤ්චුකය යි කියනුයේ බැනියම් කමිස ආදී ඇඟ ලන වස්තූනට ය. එ බන්දක් නොවන සේ අංසකඩය පිළියෙළ කර ගත යුතු ය.
සිවුරු රෙදි:
“අනුජානාමි භික්ඛවෙ, ඡ චීවරානි ඛොමං කප්පාසිකං කොසෙය්‍යං කම්බලං සාණං භංගං” යි සිවුරුවලට රෙදි වර්ග සයක් අනුදැන වදාරා තිබේ. ඛෝම යනු ඒ නම ඇති ගස් වර්ගයක කෙඳිවලින් වියන රෙදි ය.කප්පාසික යනු කපු නූලෙන් වියන රෙදි ය.කෝසෙය්‍ය යනු පට රෙදි ය. කම්බල යනු ලොමින් වියන රෙදි ය. සාණ යනු ඝණ කෙඳිවලින් වියන රෙදි ය. භඞ්ග යනු මිශ්‍ර නූලෙන් වියන රෙදි ය. මේ රෙදි වර්ග සය හා ඒවාට සමාන වෙනත් රෙදි වර්ග ද සිවුරුවලට සුදුසු ය. හිසකේ, පියාපත්, ගස්වල සුඹුලු, සම් ආදියෙන් සිවුරු නො කළ යුතු ය.
සිවුරේ පැහැය
“න භික්ඛවෙ, සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමඤ්ජිට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහාරංගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි.
(මහාවග්ග චීවරක්ඛන්ධක)
මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් සම්පූර්ණයෙන් නිල් පැහැය ඇත්තා වූ ද, කහ පැහැය ඇත්තා වූ ද, රතුපැහැය ඇත්තා වූ ද, මදටිය පැහැය ඇත්තා වූ ද, කළු පැහැය ඇත්තා වූ ද, පත්තෑයන් ගේ පිටේ පැහැය ඇත්තා වූ ද, ඉදුණු කොළවල පැහැය ඇත්තා වූ ද, සිවුර නො දැරිය යුතු ය. අකැප පැහැයවල් ඇති සිවුරු ලදහොත් සෝදා ඒ පැහැයවල් වෙන් කොට නියම පැහැය ඇති පඬුපොවා ගත යුතු ය. පාට ඉවත් කළ නොහැකි නම් ඇතිරිලි ආදිය සඳහා යෙදිය යුතු ය. තථාගතයන් වහන්සේ විසින් සම්පූර්ණ නිල් කහ ආදි වර්ණයන් ප්‍රතික්ෂේප කර තිබීමෙන් පෙනෙන්නේ සිවුරේ පැහැය මිශ්‍ර වර්ණයක් විය යුතු බව ය. නුග පොතු තම්බා පෙවූ කල්හි ඇති වන පැහැය සිවුරේ නියම පැහැය විය යුතු ය. එය කළු රතු කහ යන පාට තුන මිශ්‍ර වී ඇති කසට පැහැය ය.
ලෝකයෙහි ඇති නොයෙක් වර්ණයන් අතුරෙන් මේ කසට පැහැය ම සිවුරට ගෙන ඇත්තේ එහි අනුසස් සලකා ගෙන ය. සුදුපැහැය ඇති සිවුරු පරිභෝග කරතහොත් එය ඉතා ඉක්මනින් කිලිටි වන බැවින් නිතර සෝදන්නට වීමේ පළිබෝධය හා අලුත් වස්ත්‍ර සොයන්නට වීමේ පළිබෝධය ඇති වන්නේ ය. ඒ පළිබෝධය නැති බව මේ කසට පැහැයෙහි එක් අනුසයෙකි. වරක් පෙවූ කල්හි බොහෝ කල් පවත්නා වූ මේ පැහැයෙහි නිතර පඬු පෙවීමේ පළිබෝධය නැති බව එක් අනුසසෙකි. සිවුර ලස්සනය කියා තණ්හාමානාදි කෙලෙස් නූපදනා බව එක් අනුසසෙකි. දුරට නො පෙනෙන බැවින් අන්තරාය අඩු බව එක් අනුසසෙකි. මෙය මදුරුවන්ට අප්‍රිය වර්ණයෙකි. එබැවින් සිවුරට මදුරුවන් පැමිණෙනවා අඩු ය. එය කසට පැහැයේ එක් අනුසසෙකි. මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් මේ කසට පැහැය පැවිද්දන්ට ඉතා යෝග්‍ය පැහැය වන්නේ ය.
පඬු වර්ග
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී භික්ෂූහු ගොම හා රතු මැටි දියකර සිවුරුවලට පෙවූ හ. සිවුරු දුර්වර්ණ විය. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි“අනුජානාමි භික්ඛවෙ, ඡ රජනානි මූලරජනං ඛන්ධරජනං තචරජනං පත්තරජනං පුප්ඵරජනං ඵලරජනං” යි මුල් ය - කඳ ය - පොතු ය - කොළ ය - මල් ය - ගෙඩි ය යන මේ සය වර්ගය පඬු පිණිස ගැනීමට අනුදැන වදාළ සේක. මෙසේ පඬු ජාති සයක් අනුදැන වදාළ මුත් නො ගත යුතුය කියා කිසිවක් ප්‍රතික්ෂේප නොකළ සේක. එ බැවින් සුදුසු පැහැය ඇති තවත් ජාති ද ඒවාට අනුලෝම වශයෙන් ගැනීම සුදුසු විය යුතුය. මුල් ආදියෙහි ද යෝග්‍ය වර්ණයක් නැති ඒවා නොගත යුතු ය. එබැවින් “හලිද්දිං ඨපෙත්වා සබ්බං මූලරජනං වට්ටති” යි කහ හැර සියලු මුල් සුදුසු බවත් “මඤ්ජිට්ඨකංච තුංගහාරකඤ්ච ඨපෙත්වා සබ්බං ඛන්ධරජනං වට්ටති” පතඟි හා ටිඟොල් නමැති ගස් වර්ගත් නුසුදුසු බවත් “ලොද්දංච කණ්ඩුලංච ඨපෙත්වා සබ්බං තචරජනං වට්ටති” යි ලොත් හා කඩොල් පොතු හැර සියලු පොතු සුදුසු බව ද “අල්ලි පත්තඤ්ච නිල්ලිපත්තඤ්ච ඨපෙත්වා සබ්බං පත්තරජනං වට්ටති” යි සිහින් කසාපත් හා බෙරුපත් හැර ඉතිරි සියල්ල සුදුසු බව ද, කිංසුකපුප්ඵඤ්ච කුසුම්භපුප්ඵඤ්ච ඨපෙත්වා සබ්බං පුප්ඵරජනං වට්ඨති” යි වණුක් මල් හා කෑලමල් හැර සියලු මල් සුදුසු බව ද, ගෙඩි ජාති සියල්ලම සුදුසු බව ද විනය අටුවාවෙහි දක්වා තිබේ. සුවඳ ද්‍රව්‍ය කැඳ ආදිය පඬුවලට මිශ්‍ර නො කළ යුතු ය.
Subscribe to:
Posts (Atom)
රාමසරය(කෙටි කතාව)
දැල්වෙමින් තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර ...
-
සිවුරු පිළිබඳ දතයුතු කරුණු share තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ගේ පරිභෝගය පිණිස සිවුරු නවයක් අනුදැන වදාරා තිබේ. එයින් සංඝාටි උත්තරාස...
-
ජීවිතයේ අනිත්‍යතාවය අවබෝධ කර ගන්නට බැරි බොහෝ දෙනෙක් ලෞකික වශයෙන් විඳින සැප සම්පත් හැර යාමට කිසිවිටක අපොහොසත් වෙති. උපතේ පටන් මරණය දක්වාම ...